Welcome to Visira Radio

No. 397/E, Ganemulla, Welipillawa.

Call Us

+94 70 320 8810

Opening Time

Mon-Fri: 8.00-17.00

ආලේපන හා විලේපන / (වත්සුණු) සුවඳයි - මාරාන්තිකයි

මෙයට අවුරුදු දහස් ගණනකට පෙර නයිල් නිම්න ශිෂ්ටාචාරයේ හෙවත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ විසූ සුප්‍රකට පාරාවෝ රජෙක් වූ තුතන්කාමම් ගේ මමිය ‍(නොදිර‍ා ඇති මිනිය) පිළිබඳ වැදගත් කරුණු රැසක් ලෝකයට හෙළිදරව් වූවා. මෙපමණ කාලයක් මිනිය නොදිරා ආරක්ෂා වූයේ එහි ගැල්වූ ඖෂධ හේතුවෙන්. එම ඖෂධ ශරීරයේ තැන්පත් කිරීමෙන්, ඇතුළුකිරීමෙන්- inject හා ආලේපනය කිරීමෙන් මෙය සිදුකර තිබෙනවා. ජීවත්ව සිටියදී ලෙඩ-රෝගවලින් අපව ආරක්ෂා කරන මෙවැනි ඖෂධ, මරණින් පසු මෘත දේහ ආරක්ෂාකර ගැනීමටද දායක වන අයුරු පුදුම සහගතය. වශේෂයෙන් ජීවයේ උල්පත වූ සූර්ය ශක්තිය ගබඩා වූ ශාක ඖෂධ මෙහිලා ප්‍රමුඛ වෙනව‍ා. මේවා අතරින් රුව වඩවන රූප ලාවණ්‍ය ඖෂධ වර්ග අනාදිමත් කලක පටන් විශේෂයෙන් කාන්තාවන් අතර භාවිතා වෙනවා. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ මෙවැනි ආලේපන වර්ග අලෙවිකිරීමෙන්, සමාගම් මහත්වූ ධනස්කන්ධයක් උපයාගන්නවා. එමනිසා රූප ලාවණ්‍ය - cosmetics කර්මාන්තයක් ලෙසින් අද ඉදිරියට ඇවිත්. හොඳ ආදායම් මාර්ගයක් බැවින් මෙම කර්මාන්ත‍යට, පිළිගත් මෙන්ම වංචනික පුද්ගලයින් / සමාගම්කරුවන්ද ඇදී එන්නේ නිරායාසයෙන්. මෙවැනි තත්ත්වයක් යටතේ රුව වඩවන ඖෂධ භාවිතා කරන්නන්, විශේෂයෙන් කාන්තාවන් මේ පිළිබඳව දැනුම්වත් විම වැදගත්. අද හතු පිපෙන්නාක් මෙන් වෙළෙඳපොලට පැමිණෙන වෛවාරණ රූප ලාවණ්‍ය අතරට පේශ් වොෂ්, හෙයාර් ඩයි, ෂැම්පු වර්ග, බොඩි ලෝෂන්, සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග ආදිය එක්වෙනවා. නිසි භාවිතයෙන් තොරවවීමත්, ව්‍යාජ වර්ගවලට හසුවීමත්, තම ශරීරයට නොගැලපීමත් නිසා රූපලාවණ්‍ය කෙනෙකුගේ මරණය පවා ගෙනදීමට සමත්වන බව මෑත කාලයේදී වාර්තා වී තියෙනවා. මෙවන අවස්ථාවන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිගත වු ජාතික ආයතනයක් මගින් යම්, යම් ක්‍රියාමාර්ග ගැනීම‍ට යුහුසුළු වී තියෙනවා. ඒ ජාතික ඖෂධ අධිකාරියයි. එහි අධ්‍යක්ෂ ධූරය හොබවන වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා “දෙසතිය” සමග මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින්, “ වෙළෙඳපොලෙහි ඇති සියළුම රූපලාවණ්‍ය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිකිරීම අනිවාර්යයි. ‘විලවුන් උපකරණ හා ඖෂධ පනත’ මගිනුයි එම නෛතික අවශ්‍යතාව පනවා තියෙන්නේ. විශේෂයෙන් ශරීර ආලේපනවල ප්‍රමිතිය පිළිබඳව ඖෂධ අධිකාරිය දැඩිව කටයුතු කරනවා. සියළු ශරීරාලේපන සෘජුවම ශරීරය ස්පර්ශ කරනවා. එයින් ශරීර සෞඛ්‍යයට යම් හානියක් වන්නේ නම් එය වැළැක්වීම අපේ (සෞඛ්‍යය බලධාරීන්ගේ) යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. ඒ අනුවයි මේ පනතේ හතරවන සංශෝධනයෙන් සියළු ශරීරාලේපන ලංකාව තුළ ලියාපදිංචිකිරීම අනිවාර්යය කළේ ” යැයි පැවසුවා. ලියාපදිංචියේදී මොනවාගේ කරුණුද සලකා බලන්නේ? ‘දෙසතිය’ ඇසුවා. “ මිනිස් සිරුරට ගැලපෙනවාද? නැද්ද? යන්න, සෞඛ්‍යයට හානිකර ද්‍රව්‍ය තිබේද? අසාත්මිකතා ඇතිවේද? සමේ පිළිකා වැනි රෝග සෑදීමේ ඉඩකඩ, කල්තබා ගැනීම සඳහා අනුමත නොකරන ලද ද්‍රව්‍ය යොදා තිබේද? අනුමත නොකළ වර්ණ භාවිතා කර තිබේද? යනාදිය විශේෂයෙන් සලකා බලන බව වෛද්‍යවරය‍ාගේ පිළිතුර වූවා. ශරීරාලේපනවල සිරුරට අහිතකර මෙවැනි ද්‍රව්‍ය තිබුණොත් අක්මාවට හා වකුගඩුවලට දැඩි හානි ගෙනදෙන බව පැවසූ වෛද්‍ය බෙනරගම, මේ පිළිබඳව විශේෂයෙන් කාන්තාවන් අවධිව සිටීම වැදගත් බවද අවධාරණය කරනවා. එසේම ශරීරාලේපන පිළිබඳ ප්‍රචාරණ ක්‍රමයන් තුළ ඒවායේ අඩංගු ද්‍රව්‍ය (කෝමාරිකා, සුදුහඳුන්, වෙනිවැල්ගැට, විටමින් වර්ග .... ආදිය) , සත්‍ය වශයෙන්ම පවතින්නේදැයි සොයාබැලීමෙන් අනතුරුවයි ලියාපදිංචියට අවසර ලබාදෙන්නේ”ඔහු කරුණු පැහැදිලි කරනවා. ආනයනය කරනු ලබන ආලේපන වර්ගවල ගුණාත්මකභාවය කෙරෙහිද ජාතික ඖෂධ අධිකාරිය සැලකිලිමත්වන බව වෛද්‍යතුමා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරනවා. “ එවැනි වර්ග මෙරට වෙළෙඳපොලෙහි අලෙවිකිරීමට නම් තවත් ප්‍රධාන අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කළයුතු වෙනවා. එනම්, එය එරට ලියාපදිංචි වී තිබීම හා එරට වෙළෙඳපොලෙහි පිළිගත් පාරිභෝගික ද්‍රව්‍යයක් ලෙස පැවතීම යන කරුණුයි. යම් අසාත්මිකතාවක් මෙවැනි ද්‍රව්‍යවලින් ඇතිවන්නේ නම් එය දේශීය නිෂ්පාදනයක්ද, විදේශීය නිෂ්පාදනයක්ද යන්න වැදගත් නැහැ. කුමන නිෂ්පාදනයක වුවත් හානිය ජනතාවට නිසා අප ආයතනය සැමවිටම ජනතා පාර්ශ්වයේ ඉන්නවා. විදෙස් නිපැයුමක් වගකීම දරන්න එහි දේශීය නියෝජිතයෙක් (Local Agent) සිටීම අනිවාර්ය වෙනවා”. “සියළු නිපැයුම්වල නිෂ්පාදන ක්‍රියාවලිය හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව අධිකාරිය පිළිගත් රසායනාගාරයකින් ලබාගත් සහතික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවෙනවා.පළපුරුදු ඖෂධවේදීන්ගේ පරීක්ෂාවන්ගෙන් පසු ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරු, සමේ රෝග විශේෂඥවරු, රජයේ රස පරීක්ෂක නිලධාරීන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විශේෂඥවරු ඇතුලත් කමිටුවක් මගින් ලියාපදිංචිය පිළිබඳ අවසන් තීරණය ගනු ලබනවා. ඉන්පසු එක් වසරක කාලයකට වෙළෙඳපොලේ අලෙවිකිරීමට ඉඩ ලබාදෙන අතර, පාරිභෝගිකයාට හානිදායක තත්ත්වයක් මතු නොවුණහොත් එය වසර පහ දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනවා”. “දෙසතිය ” ඊළඟට වෛද්‍යවරයාගේ අවධානය වෙනස් පැත්තකට යොමු කළා. ඒ විදෙස්ගත පුද්ගලයින් මෙරටට පැමිණෙන විට පුද්ගලික මට්ටමෙන් ගෙන එන මෙවැනි ආලේපන හෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳවයි. පවත්නා නීතිය අනුව ඖෂධ අධිකාරියේ සහතිකයකින් තොරව, රේගුව හරහා මේවා ගෙන ඒමට නොහැකිය. එහෙත් ප්‍රායොගික ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය වෙනස් විය හැකිය. ඒ පෞද්ගලිකව ගෙනඑන රූපලාවන්‍ය ආලේපන වර්ගවල ප්‍රමිතිය පිළිබදව‍ නොදන්නා බවත්, ඒවායේ අනාරක්ෂිත බව පිළිබඳ අධිකාරිය වග නොකියන බවත් පැවසූ වෛද්‍යවරයා, හොඳම දේ මේ පිළිබඳව දැඩි සැලකිල්ල දක්වා එවැනි දේ භාවිතයෙන් වැළකීමට ජනතාව හුරු පුරුදු වීම බව බවසනවා. ආලේපන වර්ගයන්හි දෝෂවලින් පමණද පාරිභෝගකයා හානි සිදුවන්නේ? මේ ‘දෙසතියේ’ පැනයයි. මෙයට වෛද්‍ය බෙනරගම කරුණු පැහැදිලි කරමින්, නැහැ! පාරිභෝගිකයාගේ ශරීර සෞඛ්‍යයත් මෙවැනි තත්ත්වයන්ට හේතු ‍වන්න පුළුවන්. ශරීරාලේපන භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නොමැති වුවත් දරුණු තත්ත්වයන් ඇතිකළ අසාත්මිකතාවන් (Allergic) පිළිබඳ වාර්තා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ භාවිතාකිරීමෙන් මේවායින් අතුරු ආබාධ ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් තිබිය යුතුයි. එවන් හානිකර තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී සුදුසු ප්‍රතිකාර ලබාගත යුතු බව පවසා සිටිනවා. ඇතැම් අවස්ථාවල නිෂ්පාදනයේ දෝෂ නොමැතිව නිසි ප්‍රමිතියට තියුණත් පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වයේ වෙනසක් නිසා මෙවැනි අසාත්මිකතාවන් හට ගැනීමට ඉඩ තියෙනවා. එනිසා ආලේපන භාවිතය හෝ මිළට ගැනීමට පෙර එය තම ශරීරයට ගැලපේද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න! යැයි වෛද්‍යවරයා වටිනා උපදේශයක් දෙනවා. “අහිතකර ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග පිලිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම තහනම්. එසේ ප්‍රචාරය කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අප පසුබට වෙන්නේ නෑ. ජනතාව නොමග යවන ලෙස කටයුතු කිරීම අදාළ නිෂ්පාදන ආයතනය හෝ මාධ්‍ය ආයතනය නොකළ යුත්තක්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ සහතිකය ය‍ටතේ මේ පිළිබඳව කිහිප වරක් මාධ්‍ය දැනුම්වත් කර තියෙනවා” යැයි වැදගත් පණිවුඩයක් මාධ්‍යයට මතක් කර දෙනවා. රූපලාවණ්‍ය ආලේපන භාවිතා කරන පාරිභෝගිකයින්ට හා විශේෂයෙන් කාන්තාවන්ට වෛද්‍ය බෙනරගම මහතා අවසාන වශයෙන් උපදේශයක් ලබාදෙනව‍ා. “ලියාපදිංචි නොවූ සහ ‘විලවුන් උපකරණ හා ඖෂධ පනත’ ට අනුකූල නොවන ආයතනයන්ට / පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගතහැකියි. පාරිභෝගිකයින් ලබාදෙන තොරතුරු මේ සඳහා ඉතා වැදගත්. ගම් හා දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, ආහාර හා ‍ඖෂධ පරීක්ෂකවරු, මහජන සොඛ්‍ය පරීක්ෂකවරු ආදි නිලධාරීන්ට ඹෟෂධ අධිකාරියේ පූර්ව අනුමැතිය මත හානිදායක ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල තුළ ඇති සියළු ශරීරාලේපනයන්ට ලියාපදිංචි අංකයක් තිබීම අනිවාර්ය කරමින් මෙවැනි තීරණයකට පැමිණියේ ජනතා සෞඛ්‍යය පිළිබඳ ජාතික ඖෂධ අධිකාරිය සැමවිටම සියළු වගකීම් දරණ නිසාවෙන්” යැයි පවසා සිටියා.

#